මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Showing posts with label විස්තර කිරීම්. Show all posts
Showing posts with label විස්තර කිරීම්. Show all posts

Friday, March 30, 2012

නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන........ අංක 01


ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු තීරය කියන්නේ..... නැගෙනහිර මුහුදු තීරයේ ආරම්භය නිලාවැලි තීරයෙන් තමයි පටන් ගන්නේ.... අවසානය ආරුගම්බේ එහෙමත් නැත්නම් පොතුවිල්, පානම මුහුදු තීරයෙන් තමයි නිල වශයෙන් අවසන් වෙන්නේ.... මේ මුහුදු තීරය ගැන.. මෙයට ලස්සන මුහුදු තීර මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන, රක්ෂිත වනාන්තර ආදී සියල්ල ඇතුලත්... 


මේ චාරිකාව අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ ත්‍රීකුණාමලයට උතුරින් පිහිටි කෝකිලායි කලපුවෙන්.. එතැන් පටන් කුච්චුවේලි, නිලාවැලි, උප්පුවේලි, ත්‍රීකුණාමලය, කදිරවේලි, වාකරේ, පාසිකුඩා, කල්කුඩා, මඩකලපුව, අක්කරේපත්තු, පොතුවිල්, පානම, හරහා ගොසින් කුමන රක්ෂිත වනාන්තරයෙන් එහෙමත් නැත්නම් කුමන කුරුළු පාරාදීසයෙන් අවසන් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ..... 


එහෙනම් පළමු වෙනි ලිපියෙන් අපි කෝකිලායි කලපුවේ ඉදන් දකුණට එමු... ඒ A15 මාර්ගය දිගේ.. අලිමංකඩින් පටන් ගන්න මේ A15 මාර්ගය අවසන් වෙන්නේ ත්‍රීකුණාමලය හරහා මඩකලපුවට ගිහින්... සමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ මඩකලපුව යාපනේ මාර්ගය කියලයි.... ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ මාර්ගය දිගේ කෝකිලායි සිට ත්‍රීකුණාමලයට එන්න....


කෝකිලායි කලපුව.. ලස්සන කුරුළු අභය භූමියක්.. තිස් වසරක් පැවති දරුණු යුද්ධමය වාතාවරණයෙන් මිදිලා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා... කෝකිලායි කළපුවේ තියෙන විශේශත්වය තමයි මහ මුහුද අද්දර තියෙන රූස්ස ගස්... විවිධ වන සතුන්ද සිටිනවායැයි කීවත් යුද්ධයෙන් පසු ඒ ගැන ලොකු විස්තරයක් දකින්න හමුවෙලා නෑ.. නමුත් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති සතුන් විශෙශයක් වන තිත් හොට පැස්තුඩුවන් නම් හොඳින් දැක බලාගන්න පුළුවනි... අවසනාවකට මේ සුංදර කෝකිලායි කලපුව ඉතා දැඩි පරිසර දූෂන අවධානමකට ලක් වී ඇති බවත් කිව යුතුයි....
මඟ දිගට හමුවන ලූණු වගාබිම්..


කෝකිලායි කළපුව පහුකරලා අපි එන්න ඕන පුල්මුඩේට..    මෙය ගොඩ බිමින් යනවානම් ඉතා ගොඩාක් වෙලා යන වැඩක්.. නමුත් මුහුදින් එනවානම් පොඩි කාලයක් ගත කරලා ආවහැකි.. පුල්මුඩේ තමයි ලංකාවේ ඛණිජ වැලි සමාගම තියෙන්නේ... පුල්මුඩේ අවට තියෙන රළු ඛණිජ වැලි එකතු කරමින් ඒවා පිරිපහදු කර ඉල්මනයිට් මොනසයිට් වැනි ඛණිජ නිශ්පාදනය කරමින් හා අපනයනය කරමින් සැලකිය යුතු විදේශ විනිමයක් අපේ රටට ගේනවා....


දිඟු හා පලල සුංදර නිලාවැලි වෙරල..
වෙරළ තීරය දිගේ පහලට එන අපට විඩා නිවීම සඳහා  මුණ ගැහෙන ඊලඟ වෙරල තීරය තමයි කුච්චුවේලි කියන්නේ.... එය පහුකරණ අපට මුණ ගැහෙන්නේ ලංකවේ මුහුදු තීරයන් අතරින් ඉතා සුංදරම මුහුදු තීරයක් වන නිලාවැලි මුහුදු තීරය.... නිලාවැලි මුහුදු තීරය කියන්නේ ශ්‍රී ලංකාව සතු පළලින් වැඩිම වගේම අලංකාරයෙන් අග තැන්පත් මුහුදු වෙරල තීරයක්.... ඒ වෙරලට නිල් පාටින් බබලන නිසළ මහ මුහුද  ගේන්නේ ඉතාම සොඳුරු අලංකාරයක්... නොගැඹුරු හා භයානක නැති මුහුදේ කිලෝමීටරයක් තරම් ඈතට ඇවිදගෙන යන්නට පුළුවන් වීම නිසා සංචාරකයන් මේ වෙරළ තීරයට සහ මුහුදු තීරයට දක්වන්නේ අසීමිත කැමැත්තක්... වෙරලේ සිට කිලෝ මීටර පහක් පමණ ඈතින් පිහිටා තිබෙන පරෙවි දූපතද ඉතා මනරම් ස්තානයක්.. බෝට්ටුවකින් ගමන් කළ හැකි අතර දිනය පුරාම විනෝද වන්නට මෙන්ම කුරුල්ලන් නරඹන්නටද මේ දූපත ඉතා සොඳුරු ස්ථානයක්... 


ඈතින් දිස්වෙන පරවි දූපත
නිලාවැලි මුහුදු තීරයෙන් පිටත් වී දකුණට ඇදෙන ඔබට ඒ සමානම මුහුදු තීරයක් තමයි ඇහැ ගැටෙන්නේ.. ඒ උප්පුවේලි මුහුදු තීරයයි... රාත්‍රිය ගත කරන්න නිලාවැලි සේම උප්පුවේලි මුහුදු තීරයත් පරාදීසයක්.. අනතුරුව ඔබ පිවිසෙන්නේ ත්‍රීකුණාමලය නගරයට.. සංචාරකයින්ට තෝතැන්නක් වෙන ත්‍රීකුණමල නගරයට ආසන්නම වෙරළ තීරය තමයි පළිඟු වෙරල තීරයත් ඉතා සොඳුරු වෙරල තීරයක්... එආ ආසන්නයේ නවාතැන් ගැනීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔබට පහසුකම් සායලා තියෙනවා....


දැන් ඔබ ඉන්නේ සුන්දර ත්‍රීකුණාමලය නගරයේ...... ඉතින් නින්දක් දාගෙන තව මොනවාහරි කරනවනම් යාළුවොත් එක්ක ඒවත් කරලා විවේක ගන්නකෝ... අපි යමු ඊලඟ ලිපියෙන් ත්‍රීකුණාමලය නගරය වටේ...
උප්පුවේලි මුහුදේ විනෝද වන සංචාරකයෝ...

සහායක් අවශ්‍ය වුනොත් මේ අංක වලට සහ විද්‍යුත් ලිපින වලට කතා කරන්න,,, 



දුරකථන            : +94714449162

                            +94112847690


විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Sunday, August 7, 2011

කාර්යාලයේ සුහද හමුව පවත්වගන්න කටු කනවද හෝ ගාලා.......


අපි විසින් ලබාදෙන තවත් සේවාවක් ගැන තමයි මම මේ අද කියන්න හදන්නේ... ඔබ විනෝදයට උපරිම කැමති ඇති.. ඒකනේ හෙඩිම දැක්ක ගමන් දුවගෙන ආවේ කියවන්න.. එහෙම නේද? ඉතින් අද කියන්න හදන්නේ ඔබේ විනෝදය සාර්ථකව කරගෙන යන්න අපි විසින් ලබා දෙන තවත් එක් සේවාවක් ගැන. ඔබ යාළුවොත් එක්ක කාර්යාලයේ හිතව්තුන් සමඟ අවුරුද්දකට සැරයක්, එහෙම නැත්නම් මාස තුනකට සැරයක් කාලා බීලා සිංදු කියලා, නටලා විනෝද වෙලා තියෙනවනේ... ඉතින් මේ අවස්ථාව කොහොමද මෙච්චර කල් සංවිධානය කලේ....

මතකද? විනෝද ගමන යන්න තැන් හෙව්වා... ඒ වගේ කෑම රසද? කාමර කොහොමද? වායු සමීකරණ තියෙනවද? ගනන් කොහොමද? ප්‍රශ්න ගොඩයි නේද? ඊට පස්සේ ගමන යන්න බස් හෙව්වා... රියැදුරු කොහොමද? වේගෙන් යනවද? රථය අබලන්ද? දුර යන්න බැරි වෙයිද? තවත් ප්‍රශ්ණ ගොඩායි නේද? ඒ වගේමයි ඔවුන් අතින් වැරැද්දක් උනත් එයාලගේ සැර.. ඊට පස්සේ හොයන්නේ සංගීතය. ඒ කියන්නේ කණ්ඩායම් සංගීතය එහෙම නැත්නම් ඩීජේ, කැලිප්සෝ... මෙයාල හොඳට සිංදු කියයිද? ආතල් එක කයිද? ඔය වගේ ප්‍රශ්න.. සංවිධානය කරන පිරිසට උත්සවය හෝ ගමන ඉවර වෙනකන් නින්ද යන්නේ නෑ.. මෙන්න මේ ගැටළුවලට පිළියමක් අරගෙන තමයි අපි අද ආවේ...

මීට පස්සෙ ඔබට ඒ වගේ දුකක් විදින්න ඕන නෑ.. ඔබේ කාර්යාලයට හෝ මිතුරු සමාගමට අවශ්‍ය උත්සවයක්ද? විනෝද චාරිකාවක්ද? නායකත්ව පුහුණු වැඩමුළුවක්ද? සම්මන්ත්‍රනයක්ද? එහෙමත් නැත්නම් ඩීජේ නයිට් එකක්ද? සුහද හමුවක්ද? මේ ඕනම දෙයක් ඔබේ දොරකඩට ඇවිල්ලා ඉස්තරම්ම අයුරින් ඉටු කර දෙන්නට අපි සූදානම්... ඒ විතරක් නෙවෙයි, ඔබ ඉන්නේ විදේශගතවනම්, ඔබේ විවාහ මංගල උත්සවය සංවිධානය කර ගන්න, ඔබගේ පවුලේ ඥාතීන්ගේ උත්සව පවත්වන්න වගේ ඕනෑම වැදගත් කටයුත්තක් අප ලවා ඉටුකර ගන්න ඔබට පුළුවන්.....

ඔබේ උත්සවයට හෝ වැඩසටහනට අවශ්‍ය අල්පෙනෙත්තේ සිට අප සපයනවා... හෝටල්, බස් රථ, සම්පත් දායකයින් සහ අනෙකුත් සියළු දේවල්.. ඔබට තිබෙන්නේ සහභාගී වන්න විතරයි... සංවිධානය කිරීමේදී ඔබට වැයවන, කාලය, ශ්‍රමය, මුදල් මේ හැම දෙයක්ම ඔබට ඉතිරි කරගනට පුළුවන්...

ඊලඟට ඔබේ හිතේ නැඟෙන ප්‍රශ්නය මට තේරුම් ගන්න පුළුවන්... මිල ගනන්.. මෙය ඔබේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා... ඔබේ අවශ්‍යතාවය සඳහා අපි මිල ගනන් හතරක් ලබා දෙනවා... ඒ සුඛෝපභෝගීත්වය අනුව වර්ග කරලා... ඔබට පුළුවන් අපිත් එක්ක රැදිලා කතා කරලා අවශ්‍ය පැකේජය තෙරුම් ගන්න... අපට ඕනෑ හැටියට නොව ඔබට ඕනෑ හැටියට මේ කටයුතු කර දෙන්නට අපි හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නවා....

මේ යොදා තිබෙන ඡායාරූපත් අපි විසින් සංවිධානය කරපු වැඩසටහන්.. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න... මෙන්න අපේ තොරතුරු.. කථා කරන්න අපට...

දුරකථන            : +94714449162
                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Thursday, July 14, 2011

බස්නාහිර මුහුදු තීරය දිගේ ගාල්ලට යන්න එනවද අපිත් එක්ක....... 02


මේ කථා මාලාවේ පලවෙනි කොටසින් අපි ආවේ කොළඹ ඉඳලා වාද්දුවට එනකන්... මෙතන ඉඳන් මේ මාවත ටිකක් ගැමි ස්වරූපයක් ගන්නවා... කළුතර ඇරුනම අනිත් සියළු නගරයන් පාහේ සංචාරක ව්‍යාපාරය පදනම් කර ගනිමින් ගොඩ නැගුනු නගරයන්.. ඒ වගේම මේ සියළු නගරයන් තුල අමතක නොවෙන ඉතා සෝබර අඳුරු මතකයක් තියෙනවා... ඒ තමයි 2004 දෙසැම්බර් 26 දින පැමිණි සුනාමියට මේ සියළු ප්‍රදේශ සුන්නද්දූලි වෙලා ගියා.... ඒ තුලින් ගොඩ නැගුනු පන්නරයෙන් මොවුන් අද හිස ඔසවා විරාජමානව සිටිනු ඔබට දකින්න හැකි වේවි....

වාද්දුව පසුකරමින් ඉදිරියට යන ඔබට මුන ගැහෙන්නේ ඓතිහාසික කළුතර නගරයයි....  කළු ගඟ මූලික කරගත් තොටක් වෙච්ච කළුතොට පසු කලෙක කළුතර වූ බවයි සඳහන් වෙන්නේ... කළු ගඟ අයිනේ විරාජමානව බබලන කලුතර දාගැබ් වහන්සේ මෙන්ම කළුතර බෝධීන් වහන්සේද නිසා ඓතිහාසික වටිනාකමක්ද කළුතර නගරයට ලැබෙන්නේ නිතැතින්.... ඒ වගේම මෙම බෝධීන් වහන්සේ ලඟින් නොනවත්වන වාහනයක් නැති තරම්...  මීටර 40 කටත් වැඩි දිගකින් යුත් පාලමට සමාන්තරව දිවෙන දුම්රිය පාලමත් ඉතා අලංකාරව  දිස්වීම සංචාරක ආකර්ශණය වැඩි කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ටැන්ජරින් හෝටලය, රාමදා හෝටලය, හිබිස්කස් හෝටලය, රෝයල් පාම් බීච් හෝටලය වැනි තරු පංතියේ හෝටල් සේම අඩු වියදම් හෝටල් රාශියක් කළුතර වෙරළ තීරය දිඟේ පිහිටා තිබෙනවා.... 
රිච්මන්ඩ් කාසල් මන්දිරය, කළුතර

කලුතරින් වමට හැරිලා ගියාම හම්බෙන රිච්මන්ඩ් කාස්ල් එකට ඔබ ගිහින් තියෙනවද? මීට අවුරුදු 100කට එහා අතීතයක් තිබෙන අපූරු ගෘහ නිර්මාන ශිල්පයකට හිමිකම් කියන මෙම සුවිසල් මන්දිරයේ අයිතිකරු පඬිකාර මුදලි, නානායක්කර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලි තුමා... ස්වාභාවික වායු සමීකරණ ක්‍රම මෙන්ම ඒ කාලයේ නොතිබූ විසිතුරු වීදුරු ජනෙල් වල සුන්දරත්වයක් ඔබට දකින්න පුළුවන්. දැනට මේ මන්දිරය මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුයි...  


කළුතර පසුකරන ඔබට මහ පාරත් එක්ක දිවෙන පලමු මුහුදු තීරය ඔබට මුණ ගැහෙන්නේ පයාගලින්.... දැකුම්කළු මුහුදු තීරය වඩාත් ලස්සන කරන්නේ ඒ හා සමගාමීව තිබෙන පොල් රුප්පාවලින්... ඔබ මේ පොල් ගස් වල ඉහල බලලා තියෙනවද? අතුරු.... පොල් රා, පොල් විනාකිරි, පොල් පැණි නිපදවීම සඳහා උපයෝගී කර ගන්නා තෙලිජ්ජ ලබා ගැනීමට අතුරේ පිය මනින ගැමියන් දැක ගැනීමටත් ඔබට හැකි වේවි... ඒත් රා බොන්න තවම කලබල වෙන්න එපා.. ඉදිරියේදී මම කියන්නම් කොහෙද හොඳම තැන කියලා....

පයාගල හා මග්ගොන පසු කරමින් ඉදිරියට යන ඔබට හමුවන්නේ අළුත්ගම. පූජනීය ස්ථානයක් විදිහට වැදගත් වන අළුත්ගම කන්දෙ විහාරයට බොහෝ බැතිමතුන් තම තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට පිය ගැට පෙල නගින හැටි අපට දැක ගන්නට හැකි වෙනවා... අළුත්ගම නගරයට යන්න කලින් දකුණු පැත්තේ තිබෙන මුහුදු තීරය වඩා ජනප්‍රිය නොවෙන නමුත් අති සුංදර මුහුදු වෙරලක්... අහලා තියෙනවද කලුවමොදර වැල්ල ගැන.... විනෝද සාගරයක් කියලා කිව්වොත් තමයි නිවැරදි... අළුත්ගම පහු කරන ඔබට බෙන්තර ගඟේ පාලම පසු කර අවසන් වෙනවාත් සමඟ දකුණු දෙසින් බෙන්තර ජාතික සංචාරක කලාපයට ඇතුල් විය හැකියි....

බෙන්තර ගඟේ ජල ක්‍රීඩා....
බෙන්තොට. මේ මාවතේ ලැබෙන දෙවන සංචාරක පරාදීසය. තරු පන්තියට අයත් හෝටල් සමූහයක් මෙන්ම සංචාරක බංගලා, මධ්‍යම පන්තියේ අඩු වියදම් හෝටල් ආදී නවාතැන්පලවල් රාශියක් මෙන්ම සංචාරකයන්ට අවශ්‍ය ආකාරයේ ඕනෑම අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමේ පහසුකම් මෙහි තිබෙනවා... හිරු රැස් නෑම, සම්භාහන මධ්‍යස්ථාන, ව්‍යායාම් මධ්‍යස්ථාන, මැණික්, බතික්, වෙස්මුහුණු ආදී වෙළඳ මධ්‍යස්ථාන වැනි බොහොමයක් අවශ්‍යතා මෙම කලාපය තුලදීම සිදු කර ගන්නට පුළුවනි. බෙන්තර සංචාරක කලාපය වඩාත්ම ජනප්‍රිය ජල ක්‍රීඩා වලට. දියමත ලිස්සා යාම, ජෙට්ස්කි, ඩෝනට් බෝට්ස්, බනානා බෝට්ස් චාරිකා, අධි වේගී බෝට්ටු චාරිකා මෙන්ම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ගඟ දිගේ බෝට්ටු සවාරි ආදී බොහොමයක් පහසුකම් අත් විදීමට ඔබට පුලුවන්. 

බෙන්තර පසු කරන ඔබට මුහුද අයිනෙන් මුණ ගැහෙනවා බෙන්තොට අවන්හල. ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව මගින් පාලනය කරන මෙම අවන්හලෙන් ඉතාම පිරිසිදු හා ප්‍රනීත ආහාර ලබා ගැනීමේ පහසුකම් ඔබට තිබෙනවා... ඉතින් මේ නිසා එක්දිනක සංචාරයක් යන ඔබට උදේ ආහාරය සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙස ඉතාම වගකීමෙන් හඳුන්වන්න පුලුවන්.

මීලඟට ඔබ පිවිසෙන්නේ ඉඳුරුව පුරවරයට... සුනාමියෙන් දරුනු ලෙස බැට කෑ ප්‍රදේශයක්. ඒ වගේම ඉත සුංදර මුහුදු වෙරලකට හිමිකම් කියන ග්‍රාමයක්. සුප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයක් වන ඉඳුරුව බේච් හෝටලය පිහිටා තිබෙන්නේ මෙහි. ඉඳුරුව හරියෙදි ඔබට දැක ගන්න පුළුවන් පාර දෙපස තිබෙන පොල් රා පීප්ප. පයාගල හරියෙද මම කිව්ව මතකද රා බොන්න කලබල වෙන්න එපා කියලා.. උදේ හයත් දහයත් අතර වෙලාවක ඔබ මෙම පෙදෙස පසු කරනවානම් පිරිසිදු හා ප්‍රණීත පොල් රා වීදුරුවක රස ලුණු කැටයක් එක්ක රස බැලීමේ අවස්ථාව උදා කරගන්නට පුළුවන්.  

ඉඳුරුව පසු කරමින් ඔබ පිවිසෙන්නේ කොස්ගොඩ ප්‍රදේශයට. වඩාත්ම ප්‍රසිද්ධ එහි ඇති කැස්බෑවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයයි.. කැස්බෑවුන් පිළිබඳව උනන්දු වන අයට කදිම තෝතැන්නක් තමයි එතන. කැස්බෑ බිත්තර ලඳරු කැස්බෑවන්, විවිඳ කැස්බැවුන් වර්ග මෙන්ම කැස්බෑ බිත්තර නැරඹීමේ අවස්ථාවත් ඔබට හිමිවෙනවා.. වාසනාව තිබුනොත් කැස්බෑ පැටවුන් ගොඩ ගැනීමේ අවස්ථාවට සහභාගී වෙන්නත් පුළුවන්. කැස්බෑ සංරක්ශණ මධ්‍යස්ථානය පසු කරන ඔබට ඊට මීටර් 200ක් පමණ ඈතින් වම් පසින් දිස්වෙන්නේ සාංචි ජාඩි කඩේ. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ආවේනික මුහුඳු මාලු වලින් පිසෙන ඉතාම ප්‍රණීත ආහාරයක් වන ජාඩි රස බැලීමේ අවස්ථාව එතනින් උදා කරගන්නට පුළුවන්.       

දැන් අපි එමු අහුංගල්ල ප්‍රදේශයට.. ලංකාවේ තිබෙන තරු පහේ හෝටල් අතරින් එකක් වන හෙරිටන්ස් අහුංගල්ල හෝටලය පිහිටා තිබෙන්නේ මෙහි. මීට කලකට ඉහතදී ලංකාවේ තිබුනු තවත් එක් සත්වෝද්‍යානයක් මෙහි පිහිටා තිබුනා... එම පරිශ්‍රයේ තමයි දැන් මෙම හෝටලය පිහිටා තිබෙන්නේ.  

මාදු ගඟේ කඩොලාන නරඹමින්...
අහුන්ගල්ල පසුකරමින් ඔබ පිවිසෙන්නේ බලපිටිය ප්‍රදේශයට. සුන්දර මාදු ගඟේ බෝට්ටු සවාරියක් යාමට අවස්ථාව මෙහි තිබෙනවා... කඩොලාන නැරඹීමට තෝතැන්නක් වන මාඳු ගඟේ බෝට්ටු සවාරිය තුළදී කොත්දූව රජ මහා විහාරයටත්, කුරුඳු දුවේ කුරුඳු නිපදවන ආකාරයත් දැක ගන්නට පුළුවන්... අවශ්‍ය සියළු කලමනා රැගෙන ගියොත් මාදු ගඟ මැද දූපතක ඉතා චමත්කාර ජනක කඳවුරු රාත්‍රියක් ගත කරන්නත් ඔබට පුළුවන්.  

අදට ඇති නේද? ටිකක් දිග ලිපියක්. එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු... බලපිටියෙන් පිටත් වෙලා ගාල්ලටම යන්න සූදානම් වෙන්න. පුරුදු පරිදි කියන්න ඕන. මෙම චාරිකා සංවිධානය කර ගැනීමට මෙන්ම වැඩි විස්තර දැන ගන්නත් කතා කරන්න ඕන පහත දුරකථන අංක සහ විද්‍යුත් ලිපින වලට. 



දුරකථන        : +94714449162
                        +94112178209
විද්‍යුත් තැපැල් : abeetha@explorelankainternational.com



Sunday, June 26, 2011

බස්නාහිර මුහුදු තීරය දිගේ ගාල්ලට යන්න එනවද අපිත් එක්ක....... 01

විවිධ සංචාරක සටහන් අතරේ මේ වගේ කතා මාලාවන්ද ලියන්නට මම බලාපොරොත්තු වෙනවා.... මම එහෙම අදහස් කලේ කොළඹ ඉඳන් ගාල්ලට වෙරළ තීරය දිඟේ යන එක එක ලිපියකින් කියලා ඉවර කරන්න අමාරු නිසයි.....  කොහොමත් ඔබ කවුරුත් දන්නවනේ කොළඹ ගාල්ල පටන් ගන්නේ ගාලු මුවදොර පිටියෙන්..... ඉතින් අපි එතන ඉඳන් යන්න පටන් ගමු....

ගාලු මුවදොර පිටියේ දසුන්
ගාළු මුවදොර පිටිය අපේ රටේ තියෙන සුන්දරම හා ඓතිහාසික ස්ථානයක්.... විදේශිකයින් අපේ රට ආක්‍රමණය කල කාලයෙ සිටම පැවතෙන මෙම ගාළු මුවදොර රටේ වැදගත් මෙන්ම එම සමයේ එල්ලා මැරීම් හා ප්‍රසිද්දියේ වෙඩි තබා මැරීම් වැනි දඬුවම් ලබා දීමටද භාවිතා කර තිබෙන බවටත් සාක්ශි හමුවී තියෙනවා.. කෙසේ වෙතත් අද දිනයේ රාජ්‍ය උත්සව පැවැත්වීමටත් භාවිතා කරන්නේ මේ ස්ථානයයි.. සුංදර හවස්වරුව පුරාවට හිරු බැස යන අයුරු නරඹමින් විනෝද වීමට දේශීය විදේශික ජනතාවගේ ආදරය ගාළු මුවදොර පිටියට එක් රැස් වීම වර්තමානයේ ඉතා සුලභ දසුනක්.....ගලධාරී හෝටලය, සිලෝන් කන්ටිනන්ටල් හෝටලය, ටාජ් සමුද්‍රා හෝටලය හා ඉතා පෞරාණික වටිනාකමකින් හෙබි සුප්‍රසිද්ධ ගාළුමුවදොර හෝටලයද තිබෙන්නෙත් මේ ගාළු මුවදොර පිටිය අසලමයි...

ගාළු මුවදොර පසු කර ඉදිරියට යනවිට අපට මුණ ගැසෙන්නේ කොළඹ නගරයේ අසිරිමත් පෙදෙසුයි.... කොළඹ 3 සහ කොළඹ 4 ලෙසින් දැන් හැදින්වෙන කොල්ලුපිටිය හා බම්බලපිටිය නගරයි.... කැසිනෝශාලා, රාත්‍රී සමාජශාලා  මෙන්ම සාප්පු සවාරියේ යාමටද කදිම ප්‍රදේශයක් තමයි මේ පෙදෙස. ඉතා ජනප්‍රිය වෙළඳ සංකීර්ණ දෙකක් වෙන ලිබර්ටි ප්ලාසා හා මැජෙස්ටික් සිටි නමින් හැදින්වෙන වෙලඳ සංකීර්ණ දෙක පිහිටා තිබෙන්නෙත් මේ ප්‍රදේශයේ....

ඊලඟට හමුවෙන්නේ වැල්ලවත්ත..... එහෙම නැත්නම් කොළඹ 06 කියන ප්‍රදේශය... මෙයද ඉතා ජනාකීර්ණ හා රථ වාහන තදබදය නිතර පවතින ප්‍රදේශයක්... සුන්දර මුහුදු තීරයකට උරුමකම් කියන වැල්ලවත්ත කොළඹ නගර සීමාවට අයත් සුංදරම මුහුදු තීරය වෙනවා... උදේ සහ හවස වරුවල ව්‍යායාම්වල යෙදීම සඳහා මෙන්ම විනෝද වීමට පැමිනෙන පිරිස් වලින්ද, පෙම් සුව විඳීමට පැමිනෙන පෙම්වතුන්ගෙන්ද වැල්ලවත්ත මුහුදු තීරය පිරී ඉතිරී යනවා... මසුන් මැරීම විනෝදාංශය කරගත් දේශීය විදේශීය සංචාරකයින්ටද මෙම මුහුදු තීරය ඉතා සුදුසු ස්ථානයක්.....

මීලඟට හමුවෙන්නේ දෙහිවල නගරය... දෙහිවල හන්දියෙන් වමට හැරී කරගම්පිටිය හන්දියෙන් නැවත වමට හැරී කිලෝමීටරයක් දුරක් ගියාට පස්සේ තමයි අපේ රටේ ජාතික සත්වෝද්‍යානය හමු වෙන්නේ.... දේශීය මෙන්ම විදේශීය සතුන් බොහොමයක් ඔබට මෙහිදී නරඹන්න පුළුවන්.... රූපවාහිනියෙන් පොත්පත් වලින් පමණක් ඔබ දැකපු සතුන් පිය ඇසින් බලන්න එන්න මෙතනට.... 

ගල්කිස්ස මුහුදු වෙරලේ දසුන්..
දෙහිවල පසුකර ඉදිරියට යද්දි තම්යි ඔබට ලෝ පරසිදු ගල්කිස්ස මුහුදු තීරය හමු වෙන්නේ..... දවසේ පැය විසි හතර පුරා ජනාකීර්ණ ස්ථානයක් සහ ඉතාම ලස්සන වෙන මෙම මුහුදු තීරය ඉතාම විනෝදජනක මුහුදු තීරයක්... ඉන්දියන් සාගරයේ පිහිනන්න, ජලක්‍රීඩා කරන්න, අව්ව තපින්න, වෙරලේ ක්‍රීඩා කරන්න, වගේම මත්පැන් බෝතල් සමඟ සතුටුවෙන්නත් මෙතනට ලොකු පොඩි දේශී විදේශීය සංචාරකයෝ අපමණ පැමිනෙනවා.... සුන්දර ආදර කථාවක ඉතිහාසය රැගත ගල්කිස්ස මහ හෝටලයත් පිහිටා තිබෙන්නේ මෙම මුහුදු තීරයේ හරි මැදමයි....

මීලඟට ඔබට හමු වෙන්නේ රත්මලාන මොරටුව, පානදුර නගරයන්..... සුන්දර බොල්ගොඩ වැව මොරටු ගඟ ආදී අලංකාර වටපිටාවක් වගේම නාගරීකරණය වූ සමාජ වටපිටාවක්ද ඔබට දැක ගත හැක.... ඊට පසු ඉතාම අලංකාර සහ නිශ්ශබ්ද වෙරළ තීරයකට ඔබට පිවිසිය හැකියි.. ඒ තමයි වාද්දුව වෙරල තීරය.... නිස්කලංක වෙරල තීරයක් වූ මෙහි ඊට සමගාමීව පිහිටා ඇති පොල් ඉඩම් නිසා තවත් ආකර්ශනීය වෙනවා.... තරු පහේ හෝටලයක් වුන බ්ලූ වෝටර් හෝටලය, වාද්දුව නිවාඩු නිකේතනය, විලා ඕශන් වීව් හෝටලය වගේ ඉතාම ලස්සන සංචාරක හෝටල්ද පිහිටල තියෙන්නේ වාද්දුවේ....

එහෙමනම් ගාල්ල බලා යන ගමනේ පළමු කොටස මින් අවසන් වෙනවා... සඳහන් කරපු තැන් ගැන වැඩි විස්තර දැනගන්නා හා ඒ අවට ඇති හෝටල් වගෙම මෙහි සඳහන් නොකල හෝටල් වෙන්කරවා ගැනීමටත් පහත අංක අමතන්න..එසේ නැතිනම් පහත සදහන් ලිපිනයට විද්‍යුත් ලිපියක් එවන්න.... 


මීලඟ ලිපියෙන් කළුතර සිට බලපිටියට යමු.....  


දුරකථන        : +94714449162
                     +94112178209
විද්‍යුත් තැපැල් : abeetha@explorelankainternational.com






Monday, March 14, 2011

මෙන්න පළවෙනි පෝස්ට් එක...

ශ්‍රී ලංකාව හරිම පුංචි රටක්... ඒක පුරා ඇවිදලා සංචාරය කරන්න ඔබට සෑහෙන කාලයක් යාවි.... ලියන මම අභීත එදිරිසිංහ.. එක්ස්ප්ලො(ර්) ලංකා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා... ශ්‍රී ලංකාව පුරා ඔබ නොදන්න මම නොදන්න ගොඩාක් දේවල් සැගවිලා ඇති.. අපි ඒවා හොයාගෙන යනවා.... ඒ තොරතුරු හැම එකක්ම අපි ඔයාලට හෙලි කරන්න බලාපොරොත්තු වෙනවා... ඒ විස්තර පහත අයුරින් මෙහෙමයි... සිංහල ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන තවත් බ්ලොග් රචිකාවියක් වන ජනනි නංගිටත් මගේ ස්තූතිය මේ වෙලාවෙදි පුද කරන්නත් ඕන....

ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා හිමි වෙන්නෙ පුදුම තැනක්... ලෝකයේ ප්‍රසිද්ධම රූපවාහිනී නාලිකාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලිවින් කියන නාලිකාව කියන විදිහට ලෝකයේ සංචාරය කරන්න සුදුසු රටවල් වලින් දෙවැනි තැන හිමිවෙන්නෙ ශ්‍රී ලංකාවට... ඔබ දන්නවාද හේතුව? පැය හතරක් ඇතුළත ලෝකයේ ඕනෑම කාළගුණික තත්ත්වයකට ලඟාවිය හැකි එකම රට ශ්‍රී ලංකාව පමණයි..... ඉතින් අපේ උරුමය හා අසිරිය රැගත් සංචාරක විත්ති ඔබ වෙත ගෙන එන්නට පටන් ගන්නෙ අපරිමාන සතුටකින් යුක්තවයි....

ශ්‍රී ලංකාවේ සංචාරක අතින් වැදගත් වන ස්ථාන..
ඒ වෙත ලඟා විය හැකි ආකාරය...
ප්‍රවාහන තොරතුරු...
හෝටල් පිළිබඳ තොරතුරු....

වැනි වැදගත් තොරතුරු වගේම ඔබට දැනගත යුතු සංචාරක තොරතුරු සම්භන්ධයෙන්ද අපෙන් විමසීම් කළ හැකියි....

මෙම බ්ලොග් අඩවිය සම්භන්ධ පූර්ණ අනුග්‍රහය එක්ස්ප්ලෝ(ර්) ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම  ( Explore Lanka International (Pvt.) Limited) දරනු ලබන අතර ඔබගේ සංචාරක ක්ෂේශ්ත්‍රයට අදාල ව්‍යාපාරයන් වේ නම් ඒ සඳහා ද මෙහි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙමි....

0094714449162 කියන දුරකථන අංකයෙනුත් 
info@explorelankainternational.com කියන විද්‍යුත් ලිපිනයෙනුත් ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකි වෙයි...