මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Wednesday, June 1, 2011

කැළණි ගඟ දිගේ ඩිංගි බෝට්ටු පදින්න යන්න එන්න......


ඉතාමත් කාර්ය බහුලව ගෙවිච්ච පසුගිය කාලය නිසා ඇත්තටම මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න ප්‍රමාද වූ බව කිව යුතු වෙනවා.... මේ මාතෘකාව දැක්ක සැනින් ඔබට  මතක් වේවි කොහෙද ලංකාවේ මෙහෙම දෙයක් කරන්නේ තියෙන්නේ කියලා..අටුවා ටීකා වැඩක් නෑ.. තැන තමයි කිතුල්ගල. මගේ අත්දැකීම්වලට අනුව මම හිතන්නේ කිතුල්ගල තමයි එක් දින චාරිකාවක් යන්න ලංකාවේ හොදම තැන... ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බෙලි ලෙන, ඔස්කාර් සම්මාන ලද චිත්‍රපටයක් වූ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපටයේ පසුතලය හා එහි නටබුන්, පහත රට තෙත් කලාපීය වනබිම්, අලංකාර තේ වතු හා රබර් වතු ආදීන්ගෙන් සුසැඳි කිතුල්ගලට සංචාරකයින් ප්‍රධාන වශයෙන් ඇදෙන්නේ කැළණි ගඟ ආශ්‍රිතව වූ ධීර ක්‍රියාකාරකම් නිසයි.


ඉතින් කිතුල්ගල යන අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ.... කිතුල්ගලට ප්‍රවිශ්ඨ වෙන්න ප්‍රධාන මාර්ග හතරක් ගැන සඳහන් කරන්න පුළුවන්..... කොළඹ හා බස්නාහිර මුහුදු තීරය මෙන්ම දකුණේ ජීවත් වෙන අයටත් ලේසිම මාර්ගය වෙන්නේ අවිස්සාවේල්ලට ඇවිත් කරවනැල්ලෙන් දකුනට හැරිලා යටියන්තොට පසු කරමින් කිතුල්ගලට ලඟාවීම... කුරුණෑගල කෑගල්ල ආදී ප්‍රදේශ වගේම අනුරාධපුර පොලොන්නරුව ත්‍රීකුණාමලය වගේම යාපනය පැත්තේ ඉන්න අයටත් ලේසි පාර වෙන්නේ කෑගල්ල, ගලිගමුව, රුවන්වැල්ල පසු කර කරවනැල්ලෙන් වමට හැරී යටියන්තොට පසු කර කිතුල්ගලට ලඟාවීමට හැකි මාර්ගයයි.... නුවර ගම්පොල මාතලේ  අයටනම් නාවලපිටිය හරහා ගිනිගත්හේනට ඇවිත් දකුනට හැරෙන එක තමයි ලේසි. ඒ වගේම මධ්‍ය කඳුකරය හා ඒ ආශ්‍රිත අයට පුළුවන් හැටන් හරහා ගිනිගත්හේනට ඇවිත් වමට හැරී කිතුල්ගලට ලඟා විය හැකියි...

කිතුල්ගල බෙලි ලෙන
ඉස්සෙල්ලාම කතා කරමු බෙලි ලෙන ගැන.. අවුරුදු 25000ක් පමණ අතීතයකට හිමිකම් කියන බෙලි ලෙන මධ්‍ය ශිලා යුගයට (මෙසොලිතික යුගය..)අයත් වෙන බවක් තමයි සඳහන් වෙන්නේ... ඉතා විශාල ලෙන් තුනකින් සමන්විත මෙහි ප්‍රධාන ලෙන අඩි හැටක ප්‍රවිශ්ඨ දොරටුවකින් මෙන්ම අඩි 40ක උසකින් යුක්තයි.... බෙලි ලෙනේ ඉහල සිට බෙලි ලෙන පාමුලට ඇද හැලෙන සිහින් දිය ඇල්ල මීට එක් කරන්නේ අපූරු අලංකාරයක්. දැනට කරන ලද කාබන් පරීක්ෂණ වලට අනුව පුද්ගලයින් 30 දෙනෙකුගේ පමණ කොටස් හමුවී ඇති බව පවසයි....

ඊලඟට මම කියන්න හදන්නේ ලෝ සුපතල ඉංග්‍රීසි චිත්‍රපටයක් වෙච්ච ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපට පසුතලය ගැනයි... දැනටත් එම ස්ථානය ආශ්‍රිතව වැල් පාලමක් තියෙනවා.. දෙවෙනි ලෝක යුද්ධය හා ගෙතුනු චිත්‍රපටයක් වෙච්ච මෙය 1957දී තමයි තිරගත වෙලා තියෙන්නෙ.. ඔස්කාර් සම්මාන 7කට මෙන්ම තවත් සම්මාන රාශියකට උරුමකම් කී මෙම චිත්‍රපට පසුතලයෙන් දැනට ඉතිරි වී ඇත්තේ පාලම ඉදි කිරීම සදහා සවිකල විශාල යකඩ කොකු හා හෑරූ විශාල වලවල් පමණයි....

මීලඟට එහි පරිසර පද්ධතිය.... පහතරට තෙත් කලාපීය වනබිමක අසිරිය දැක ගත හැකි අතර, මීමින්නන් වල් ඌරන් වැනි සිව්පාවුන් ගහනයි.... ලංකාවට පමණක් ආවේණික කැහිබෙල්ලා සහ රතු දෙමලිච්චා වැනි පක්ෂීන්ද අං කටුස්සා වැනි සතුන්ද දැකගන්නට ඔබට හැකියාව තියෙනවා... ඕලු ඇල්ල සහ දිය කෙලියටම සැදුන ගල් වලක්ද තිබෙන වන තුරුලිය හමුවේ සැරි සැරීමද ඇත්තටම සොඳුරු අත්දැකීමක්....

කැළණි ගඟේ සැඩ පහර දිගේ ඩිංගි බෝට්ටු පැදීම (White Water Rafting) තමයි වර්තමානයේ කිතුල්ගල තියෙන ජනප්‍රියම අංගය..... කිලෝමීටර හතරක දුරක් විනාඩි 45ක් පමණ ගමන් කරන මේ ත්‍රාසජනක චාරිකාව ඇග හිරිවට්ටන අත්දැකීමක්.... ආරක්ෂිත කබා (Safety Jackets) මෙන්ම ආරක්ෂිත හෙල්මට් (Safety Helmets) පැළඳීමද අනිවාර්යයි.... මාරන්තික පිමි හතරක් පනිමින් බෝට්ටුවෙන් වැටී සැඩ පහර හා පොර බඳිමින් විනෝදයෙන් මේ ගමන යන්න ඔබට හැකිවේවි... බෝට්ටුවට ගොඩ වී විනාඩි පහක් යනතෙක් "ඇයි මම මේකට නැග්ගේ" කියා ඔබට සිතේවි....  විනාඩි දහයක් යනවිට "මේ ගමන මොන තරම් මිහිරිදැයි" සිතේවි... වැල් පාලම යටින් යන ඔබට අවස්ථාවක් ඒවි බෝට්ටුවෙන් බැස ගඟේ පාවෙන්නට.... එයත් ඉතා සුංදර මෙන්ම ත්‍රාසජනක අවස්ථාවක්.... අඩි 40ක් පමණ ගැඹුරු වතුරක ඔබ සැහැල්ලුවෙන් පාවෙනවා (Body Rafting) දැනෙන විට ඔබට ඇත්තට පුදුම සිතෙවි...... මෙම අත්දැකීම විඳින්න ඔබ ආසයි ඒත් භයයි කියලා අපි දන්නවා.... අපිත් එක්ක එකතු වෙන්න සහතිකලත් ජීවිතාරක්ෂකයින් සමඟ මේ ගමන යන්න එන්න...

එහෙනම් කිතුල්ගල ගැන ලියැවෙන පුංචි ලිපිය මම මෙයින් නවත්තන්නම්.. එහෙනම් කිතුල්ගල යන්න... අපිත් එක්ක එකතුවෙන්න.... මෙන්න තියෙනවා විස්තර..

දුරකථන : 0112178209
විද්‍යුත් තැපැල් : abeetha@explorelankainternational.com


Monday, April 11, 2011

අප්‍රේල් මාසයේ සුන්දර සිරි වඩන නුවර එළියෙ සැණකෙලි සිරි...... - පළවන කොටස

සීතල නුවර එළිය නගරය අප්‍රේල් මාසයේදී සැණකෙලි සිරි ගැනීම ඉතා ප්‍රසිද්ධ කරුණක්... අප්‍රේල් මාසයේ දී එළැඹෙන සිංහල හා හිංදු අළුත් අවුරුද්දත්, පාසැල් නිවාඩුවත් කියන හේතු දෙකම නිසා නුවර එළිය නගරය සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යනවා..... පුංචි එංගලන්තය ලෙසින් විරුදාවලිය ලැබූ නුවර එළිය ගැන අවධානයෙන් සිටින විදේශිකයොත් මේ කාලෙදි අපේ පුංචි දිවයිනට පය තබනවා... ඉතින් මේ පැමිනෙන දෙස් විදෙස් සංචාරකයින් නිසාත් මල් පිපෙන බක් මහත් නිසා මලින් පිරී ගිය සුන්දර නුවර එළියට අයත් සංචාරක ස්ථානයන්හි සුන්දරත්වය දෙගුණ තෙගුණ වීම ඉතා සාමාන්‍ය කරුණක්... 

නුවර එළියට පිවිසෙන මාර්ගයන් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා.... 

උතුරින් එනවානම්  නුවර සිට ගම්පොල, පුස්සැල්ලාව හරහා නුවර එළියටත්.. 
බටහිරින් එනවානම් ගිනිගත්හේන, හැටන්, තලවාකැලේ හරහා නුවර එළියටත්..
දකුණින් එනවානම් බණ්ඩාරවෙල, වැලිගම හරහා නුවර එළියටත්
ඔබ එන්නේ නැගෙනහිරින් නම් හඟුරන්කෙත, රාගල හරහා නුවර එළියටත් 

ඔබට ප්‍රවිශ්ඨ විය හැකි අතර මේ මාර්ගයන් හතරම එක සේ සුන්දර බවද කිව යුතුම වෙයි...

රම්බොඩ දිය ඇල්ල, ගැරඬි ඇල්ල, කොත්මලේ ජලාශය නරඹමින් ඔබට එන්න ලැබෙන්නේ ගම්පොල සිට නුවර එළිය දක්වා දිවෙන මාර්ගයේදියි.... මේ රම්බොඩ දිය ඇල්ල ගැන යමක් මෙහිදී කිව යුතුමයි.. මොකද මෙහි නියම ස්වරූපය ගොඩාක් සංචාරකයින් දකින්නේ නෑ.... රම්බොඩ දිය ඇල්ල කොටස් තුනකින් යුක්තයි... මීටර් 100ක් විතර උසැති පළවෙනි කොටස වනය තුල ඇද හැලෙන අතර දෙවෙනි කොටස ඔබට ලඟින්ම දිස් වෙන්නෙ පාරට ඉතා ආසන්නවයි.... නුවර දෙසින් යනවිට වම් පැත්තෙන් මීටර් තුනක් පමන උසින් වෙන්නේ ඒ දෙවෙනි කොටසයි.... බොහෝ සංචාරකයින් රම්බොඩ ඇල්ල කියා නරඹන්නේ මෙම දිය ඇල්ලයි.... නමුත් මාර්ගයෙන් දකුනු පස බැලූ කල නුඹට පෙනේවි... ඔබ ඉන්නේ ඉතා විශාල දිය ඇල්ලක මුදුනෙහි බව... ඒ තමයි රම්බොඩ දිය ඇල්ලේ තුන්වෙනි කොටස හා ලස්සනම කොටස... එය බලන්න යන්න මාවතක් තියෙන්නෙ ඊට ටිකක් පහලින්...අවට අයගෙන් විමසුවොත් දැකගන්න පුළුවන්....

ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව හමුවෙන්නේ රම්බොඩ පහු කරලා පොඩ්ඩක් නුවර එළිය දෙසට ගියාම... ඉතා නැවුම් තේ කෝප්පයක රස බලන්නත්, සුපිරි තත්වයේ තේ කර්මාන්ත ශාලාවක් නරඹන්නත් ඔබට අවස්තාව උදා කරගන්නට පුලුවන්.... අනතුරුව වංගු සහිත මාර්ගයක් ගමන් කරමින් නුවර එළියට ලගාවෙන්න ඔබට හැකිවේවි...... මෙම මාර්ගයනම් සුපිරියි.... ඒ නිසා ඕනෑම වාහනයකට පහසුවෙන් නුවර එළියට ලඟාවිය හැකියි...

ඊලඟට කතා කරන්නේ අවිස්සාවේල්ලේ සිට ගිනිගත්හේන කපොල්ල හරහා වැටුනු හැටන් තලවකැලේ මාර්ගය ගැනයි....  කොළඹ සිට හැටන් දක්වා මාර්ගය මනා ලෙස සකසා ඇතත් හැටන් සිට නුවර එළිය දක්වා ගමන නම් මදක් දුෂ්කරයි... ඕනෑම වාහනයකට ගමන් කිරීමේ හැකියාව ඇතත් මාර්ගයේ තිබෙන දුෂ්කරතාවය නිසා මඳක් ප්‍රමාද වීම බලාපොරොත්තුවෙන් ගමන් කිරීම තමයි කල යුත්තේ.....

පලවෙනි සුන්දර නැවතුම වෙන්නේ කිතුල්ගල... තොටුපළින් නාලා එහෙම ගමන පිටත් වුනහැකි... කැලණි ගඟේ සීතල වතුර බිංදු ගතට එක්කරන්නේ නැවුම් ජීවයක්... ගිනිගත්හේන පසු කරනකොට බැලූ බැලූ අතින් සුංදර දිය පහරවල්.... ඒ හැම එකකම ඉතා පිරිසිදු ගලායන ජලය ඔබට දකින්න පුළුවන් වේවි... ගිනිගත්හෙන පොලීසිය ගැනත් යමක් කිව යුතුයි.... එහි වහලය අපූරුයි.. වම් පැත්තේ වහලයට වැටෙන වැසි ජලය එකතු වෙන්නේ ලංකාවෙ දිගම ගඟ වෙච්ච මහවැලි ගඟට... දකුණු පැත්තේ වහලට වැටෙන වැසි වතුර එකතු වෙන්නේ තවත් ප්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ වෙතට.... 

මේ මාර්ගයේදී දැකිය හැකි සුංදරම දසුන් තමයි ඩෙවෝන් දිය ඇල්ල හා ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල... උසින් වැඩි ඩෙවෝන් දිය ඇල්ලත් පලලින් වැඩි ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලත් සංචාරකයන්ට මනරම් දසුනක් වනවාට කිසිදු සැකයක් නෑ.... ඒ විතරක් නෙවෙයි..ඒ අසලම තියෙන ශාන්ත ක්ලෙයාර් තේ හලෙනුත් නැවුම් තේ උගුරක රස බලන්න ඔබට පුළුවන් වේවි..... තලවකැලේ, නානු ඔය පසු කරමින් ග්‍රෙගරි වැවට මුහුන ලා ඔබ නුවර එළියට පිවිසේවි....  

ඉන් පසුව අපේ අවධානය දිනාගන්නේ දකුණු දෙසින් නුවර එළියට ප්‍රවිශ්ඨ වන මාර්ගයයි... මෙයත් වර්ථමානයෙදී බොහෝ අබලන් වෙලා තමයි තියෙන්නේ.. අබලන් කියනවට වඩා ප්‍රතිසංස්කරණය වන පාරක් නිසා දැන් ගමන් කිරීම දුෂ්කරයි කියන එක තමයි නිවැරදි... සුන්දර බණ්ඩාරවෙල පුරවරය පසුකරමින් ඉතාම අලංකාර මාර්ගයක ගමන් කරන්නට ඔයාලට හැකි වෙනවා මෙහිදී... 

අනෙක් මාර්ග වලට සාපේක්ශව එළවලු කොටු දකින්න ලැබීමත් විශේෂයක්.... වසන්ත සමය වර්ණවත් කරමින් තරගෙට සුපිපුන මල් වලින් හැඩ වෙච්ච හග්ගල උද්භිද උද්‍යානයත් ඔයාලට හමු වෙන්නේ මේ මාර්ගයේ ගමන් ගන්නකොට.... හාවා එළියේ වනාන්තරවල මායිම දිගේ පැමින නුවර එළියට පිවිසෙන්න ඔබට හැකිවේවි....

හඟුරන්කෙත, වලපනේ සහ රාගල හරහා වැටී තිබෙන මාර්ගය එතරම් ජනප්‍රිය නොවූ මාර්ගයක්.. නමුත් එහි සුන්දරත්වයේ නම් කිසිඳු අඩුවක් නෑ... මෙහි තිබෙන විශේෂත්වය හැටියට මම දකින්නේ නුවර එළිය කිට්ටුවට එනකම්ම ඔබ බලාපොරොත්තු වන සීතල අත්විදින්න නොහැකි වීමයි.... ලවර් ස්ලීප් දිය ඇල්ල වගේම පීඩෲ තේ වතු යායත් ලංකාවේ ලොකුම තේ පදුරත් ඔබට දකින්න ලැබෙන්නේ මේ මාර්ගයෙන් නුවර එළියට ගමන් කරද්දි....

මාර්ග ගැන විස්තර අවසන්.... වසන්ත කාලෙට නුවර එළියෙ ඇවිදින්න යන්නෙ කොහෙද කියන කරුණු ගැන දැන ගන්න ඊලඟ ලිපියෙන් හමුවෙමු....

වැඩි විස්තර 0714449162 අභීත


Monday, March 14, 2011

මෙන්න පළවෙනි පෝස්ට් එක...

ශ්‍රී ලංකාව හරිම පුංචි රටක්... ඒක පුරා ඇවිදලා සංචාරය කරන්න ඔබට සෑහෙන කාලයක් යාවි.... ලියන මම අභීත එදිරිසිංහ.. එක්ස්ප්ලො(ර්) ලංකා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා... ශ්‍රී ලංකාව පුරා ඔබ නොදන්න මම නොදන්න ගොඩාක් දේවල් සැගවිලා ඇති.. අපි ඒවා හොයාගෙන යනවා.... ඒ තොරතුරු හැම එකක්ම අපි ඔයාලට හෙලි කරන්න බලාපොරොත්තු වෙනවා... ඒ විස්තර පහත අයුරින් මෙහෙමයි... සිංහල ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන තවත් බ්ලොග් රචිකාවියක් වන ජනනි නංගිටත් මගේ ස්තූතිය මේ වෙලාවෙදි පුද කරන්නත් ඕන....

ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා හිමි වෙන්නෙ පුදුම තැනක්... ලෝකයේ ප්‍රසිද්ධම රූපවාහිනී නාලිකාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලිවින් කියන නාලිකාව කියන විදිහට ලෝකයේ සංචාරය කරන්න සුදුසු රටවල් වලින් දෙවැනි තැන හිමිවෙන්නෙ ශ්‍රී ලංකාවට... ඔබ දන්නවාද හේතුව? පැය හතරක් ඇතුළත ලෝකයේ ඕනෑම කාළගුණික තත්ත්වයකට ලඟාවිය හැකි එකම රට ශ්‍රී ලංකාව පමණයි..... ඉතින් අපේ උරුමය හා අසිරිය රැගත් සංචාරක විත්ති ඔබ වෙත ගෙන එන්නට පටන් ගන්නෙ අපරිමාන සතුටකින් යුක්තවයි....

ශ්‍රී ලංකාවේ සංචාරක අතින් වැදගත් වන ස්ථාන..
ඒ වෙත ලඟා විය හැකි ආකාරය...
ප්‍රවාහන තොරතුරු...
හෝටල් පිළිබඳ තොරතුරු....

වැනි වැදගත් තොරතුරු වගේම ඔබට දැනගත යුතු සංචාරක තොරතුරු සම්භන්ධයෙන්ද අපෙන් විමසීම් කළ හැකියි....

මෙම බ්ලොග් අඩවිය සම්භන්ධ පූර්ණ අනුග්‍රහය එක්ස්ප්ලෝ(ර්) ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම  ( Explore Lanka International (Pvt.) Limited) දරනු ලබන අතර ඔබගේ සංචාරක ක්ෂේශ්ත්‍රයට අදාල ව්‍යාපාරයන් වේ නම් ඒ සඳහා ද මෙහි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙමි....

0094714449162 කියන දුරකථන අංකයෙනුත් 
info@explorelankainternational.com කියන විද්‍යුත් ලිපිනයෙනුත් ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකි වෙයි...