මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Monday, April 11, 2011

අප්‍රේල් මාසයේ සුන්දර සිරි වඩන නුවර එළියෙ සැණකෙලි සිරි...... - පළවන කොටස

සීතල නුවර එළිය නගරය අප්‍රේල් මාසයේදී සැණකෙලි සිරි ගැනීම ඉතා ප්‍රසිද්ධ කරුණක්... අප්‍රේල් මාසයේ දී එළැඹෙන සිංහල හා හිංදු අළුත් අවුරුද්දත්, පාසැල් නිවාඩුවත් කියන හේතු දෙකම නිසා නුවර එළිය නගරය සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යනවා..... පුංචි එංගලන්තය ලෙසින් විරුදාවලිය ලැබූ නුවර එළිය ගැන අවධානයෙන් සිටින විදේශිකයොත් මේ කාලෙදි අපේ පුංචි දිවයිනට පය තබනවා... ඉතින් මේ පැමිනෙන දෙස් විදෙස් සංචාරකයින් නිසාත් මල් පිපෙන බක් මහත් නිසා මලින් පිරී ගිය සුන්දර නුවර එළියට අයත් සංචාරක ස්ථානයන්හි සුන්දරත්වය දෙගුණ තෙගුණ වීම ඉතා සාමාන්‍ය කරුණක්... 

නුවර එළියට පිවිසෙන මාර්ගයන් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා.... 

උතුරින් එනවානම්  නුවර සිට ගම්පොල, පුස්සැල්ලාව හරහා නුවර එළියටත්.. 
බටහිරින් එනවානම් ගිනිගත්හේන, හැටන්, තලවාකැලේ හරහා නුවර එළියටත්..
දකුණින් එනවානම් බණ්ඩාරවෙල, වැලිගම හරහා නුවර එළියටත්
ඔබ එන්නේ නැගෙනහිරින් නම් හඟුරන්කෙත, රාගල හරහා නුවර එළියටත් 

ඔබට ප්‍රවිශ්ඨ විය හැකි අතර මේ මාර්ගයන් හතරම එක සේ සුන්දර බවද කිව යුතුම වෙයි...

රම්බොඩ දිය ඇල්ල, ගැරඬි ඇල්ල, කොත්මලේ ජලාශය නරඹමින් ඔබට එන්න ලැබෙන්නේ ගම්පොල සිට නුවර එළිය දක්වා දිවෙන මාර්ගයේදියි.... මේ රම්බොඩ දිය ඇල්ල ගැන යමක් මෙහිදී කිව යුතුමයි.. මොකද මෙහි නියම ස්වරූපය ගොඩාක් සංචාරකයින් දකින්නේ නෑ.... රම්බොඩ දිය ඇල්ල කොටස් තුනකින් යුක්තයි... මීටර් 100ක් විතර උසැති පළවෙනි කොටස වනය තුල ඇද හැලෙන අතර දෙවෙනි කොටස ඔබට ලඟින්ම දිස් වෙන්නෙ පාරට ඉතා ආසන්නවයි.... නුවර දෙසින් යනවිට වම් පැත්තෙන් මීටර් තුනක් පමන උසින් වෙන්නේ ඒ දෙවෙනි කොටසයි.... බොහෝ සංචාරකයින් රම්බොඩ ඇල්ල කියා නරඹන්නේ මෙම දිය ඇල්ලයි.... නමුත් මාර්ගයෙන් දකුනු පස බැලූ කල නුඹට පෙනේවි... ඔබ ඉන්නේ ඉතා විශාල දිය ඇල්ලක මුදුනෙහි බව... ඒ තමයි රම්බොඩ දිය ඇල්ලේ තුන්වෙනි කොටස හා ලස්සනම කොටස... එය බලන්න යන්න මාවතක් තියෙන්නෙ ඊට ටිකක් පහලින්...අවට අයගෙන් විමසුවොත් දැකගන්න පුළුවන්....

ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව හමුවෙන්නේ රම්බොඩ පහු කරලා පොඩ්ඩක් නුවර එළිය දෙසට ගියාම... ඉතා නැවුම් තේ කෝප්පයක රස බලන්නත්, සුපිරි තත්වයේ තේ කර්මාන්ත ශාලාවක් නරඹන්නත් ඔබට අවස්තාව උදා කරගන්නට පුලුවන්.... අනතුරුව වංගු සහිත මාර්ගයක් ගමන් කරමින් නුවර එළියට ලගාවෙන්න ඔබට හැකිවේවි...... මෙම මාර්ගයනම් සුපිරියි.... ඒ නිසා ඕනෑම වාහනයකට පහසුවෙන් නුවර එළියට ලඟාවිය හැකියි...

ඊලඟට කතා කරන්නේ අවිස්සාවේල්ලේ සිට ගිනිගත්හේන කපොල්ල හරහා වැටුනු හැටන් තලවකැලේ මාර්ගය ගැනයි....  කොළඹ සිට හැටන් දක්වා මාර්ගය මනා ලෙස සකසා ඇතත් හැටන් සිට නුවර එළිය දක්වා ගමන නම් මදක් දුෂ්කරයි... ඕනෑම වාහනයකට ගමන් කිරීමේ හැකියාව ඇතත් මාර්ගයේ තිබෙන දුෂ්කරතාවය නිසා මඳක් ප්‍රමාද වීම බලාපොරොත්තුවෙන් ගමන් කිරීම තමයි කල යුත්තේ.....

පලවෙනි සුන්දර නැවතුම වෙන්නේ කිතුල්ගල... තොටුපළින් නාලා එහෙම ගමන පිටත් වුනහැකි... කැලණි ගඟේ සීතල වතුර බිංදු ගතට එක්කරන්නේ නැවුම් ජීවයක්... ගිනිගත්හේන පසු කරනකොට බැලූ බැලූ අතින් සුංදර දිය පහරවල්.... ඒ හැම එකකම ඉතා පිරිසිදු ගලායන ජලය ඔබට දකින්න පුළුවන් වේවි... ගිනිගත්හෙන පොලීසිය ගැනත් යමක් කිව යුතුයි.... එහි වහලය අපූරුයි.. වම් පැත්තේ වහලයට වැටෙන වැසි ජලය එකතු වෙන්නේ ලංකාවෙ දිගම ගඟ වෙච්ච මහවැලි ගඟට... දකුණු පැත්තේ වහලට වැටෙන වැසි වතුර එකතු වෙන්නේ තවත් ප්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ වෙතට.... 

මේ මාර්ගයේදී දැකිය හැකි සුංදරම දසුන් තමයි ඩෙවෝන් දිය ඇල්ල හා ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල... උසින් වැඩි ඩෙවෝන් දිය ඇල්ලත් පලලින් වැඩි ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලත් සංචාරකයන්ට මනරම් දසුනක් වනවාට කිසිදු සැකයක් නෑ.... ඒ විතරක් නෙවෙයි..ඒ අසලම තියෙන ශාන්ත ක්ලෙයාර් තේ හලෙනුත් නැවුම් තේ උගුරක රස බලන්න ඔබට පුළුවන් වේවි..... තලවකැලේ, නානු ඔය පසු කරමින් ග්‍රෙගරි වැවට මුහුන ලා ඔබ නුවර එළියට පිවිසේවි....  

ඉන් පසුව අපේ අවධානය දිනාගන්නේ දකුණු දෙසින් නුවර එළියට ප්‍රවිශ්ඨ වන මාර්ගයයි... මෙයත් වර්ථමානයෙදී බොහෝ අබලන් වෙලා තමයි තියෙන්නේ.. අබලන් කියනවට වඩා ප්‍රතිසංස්කරණය වන පාරක් නිසා දැන් ගමන් කිරීම දුෂ්කරයි කියන එක තමයි නිවැරදි... සුන්දර බණ්ඩාරවෙල පුරවරය පසුකරමින් ඉතාම අලංකාර මාර්ගයක ගමන් කරන්නට ඔයාලට හැකි වෙනවා මෙහිදී... 

අනෙක් මාර්ග වලට සාපේක්ශව එළවලු කොටු දකින්න ලැබීමත් විශේෂයක්.... වසන්ත සමය වර්ණවත් කරමින් තරගෙට සුපිපුන මල් වලින් හැඩ වෙච්ච හග්ගල උද්භිද උද්‍යානයත් ඔයාලට හමු වෙන්නේ මේ මාර්ගයේ ගමන් ගන්නකොට.... හාවා එළියේ වනාන්තරවල මායිම දිගේ පැමින නුවර එළියට පිවිසෙන්න ඔබට හැකිවේවි....

හඟුරන්කෙත, වලපනේ සහ රාගල හරහා වැටී තිබෙන මාර්ගය එතරම් ජනප්‍රිය නොවූ මාර්ගයක්.. නමුත් එහි සුන්දරත්වයේ නම් කිසිඳු අඩුවක් නෑ... මෙහි තිබෙන විශේෂත්වය හැටියට මම දකින්නේ නුවර එළිය කිට්ටුවට එනකම්ම ඔබ බලාපොරොත්තු වන සීතල අත්විදින්න නොහැකි වීමයි.... ලවර් ස්ලීප් දිය ඇල්ල වගේම පීඩෲ තේ වතු යායත් ලංකාවේ ලොකුම තේ පදුරත් ඔබට දකින්න ලැබෙන්නේ මේ මාර්ගයෙන් නුවර එළියට ගමන් කරද්දි....

මාර්ග ගැන විස්තර අවසන්.... වසන්ත කාලෙට නුවර එළියෙ ඇවිදින්න යන්නෙ කොහෙද කියන කරුණු ගැන දැන ගන්න ඊලඟ ලිපියෙන් හමුවෙමු....

වැඩි විස්තර 0714449162 අභීත


3 comments:

  1. මචෝ මේ ව්‍යාපාරේ ඉන්න එකෙක් හැටියට මේ බ්ලොග් එක පුරවන්න උඹට යුතුකමක් තියෙනවා. නැත්නම් කට්ටිය හිතයි කටින් විතරක් එක්ස්ප්ලෝ කියලා.

    සංචාරකයින්ට උපදෙස් යාහැකි පට්ට තැන් ගැන ලියන්න එපැයි. අපටත් ෆොලෝ කරන්න හැකි විදිහට

    මාත් සංචාරක සටහන් ලියන්නයි හිතන් ඉන්නේ. සංචාරය අවුරුදු ගණනකට ඇන හිටි නිසා කල් දැම්මේ. ජුනි ඉඳං මං නිදහස් වෙනවා ඊට පස්සේ ලියමු.

    ReplyDelete
  2. "දකුණින් එනවානම් බණ්ඩාරවෙල, වැලිගම හරහා නුවර එළියටත්" මෙහි “වැලිගම“ "වැලිමඩ" ලෙස වෙනස් විය යුතුයි. මීට අමතතරව ගුවනින් එන්නත් පුළුවනි. එසේ එනවා නම් ග්‍රෙගරි වැවට තමා සී ප්ලේන් නවත්වන්නෙ. ඒ වගේම ග්‍රෙගරි වැව වටේ දැන් ටිකක් අලංකාරව ඇවිදින්න පුළුවන් විදිහට හදල තියෙනව සැලකිය යුතු දුරක්. :)

    ReplyDelete
  3. රම්බොඩ දිය ඇල්ල
    සීතල නුවරඑලියේ නොදුටු තැනක්
    http://chathurangarupasingha.blogspot.com/2010/01/blog-post_483.html

    ReplyDelete